අප මහා බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගත් අති උතුම් ගැඹුරු ධර්මය මිනිසුන්ට සරල ආකාරයෙන් වටහා ගන්නට උපමා කතා ආශ්‍රයෙන් දහම් දෙසීමට උන්වහන්සේට මනා හැකියාවක් තිබුණු සේක.මේ එවන් වූ කතාවකි.
බුදු රජාණන් වහන්සේ සැවැත්නුවරදී භික්ෂු පිරිසක් ඇමතූහ. "මහණෙනි, මම ඔබට 'බර' යනු කුමක්දැ යි කියමි; බර උසුලන්නා හඳුන්වා දෙමි; බර ඉවත දැමීම පහැදිලි කරමි. එය අසන්න.
බර යනු පංච උපාදානස්කන්ධයයි.
- රූප උපාදානස්කන්ධය
- වේදනා උපාදානස්කන්ධය
- සංඥා උපාදානස්කන්ධය
- සංඛාර උපාදානස්කන්ධය
- විඥාන උපාදානස්කන්ධය ඒ උපාදානස්කන්ධ පහයි.
බර උසුලන්නා යනු පුද්ගලයාය.
බර ගෙන යෑම යනු කුමක්ද? ඒ තණ්හාවයි, නැවත නැවත ඉපදීම ඇති කරන, නන්දිරාගය සහිත වූ, ඒ ඒ භවයෙහි රැඳීමට කැමති වූ තණ්හාවයි. එය කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව වශයෙන් තෙවැදෑරුම් වේ.
බර ඉවත දැමීම යනු කුමක්ද? ඒ තණ්හාවෙන් මුළුමනින්ම මිදීමය. නොඇලීමය. නැති කිරීමය. අත් හැරීමය. ඉවත දැමීමය.
උන් වහන්සේ මෙසේද වදාළහ.
"පංචස්කන්ධය ඒකාන්තයෙන් බරක්.පුද්ගලයා බර උසුලයි. බර ගෙන යෑම දුකය. බර ඉවත දැමීම සැපතය.
ඒ බර ඉවත දමා වෙනත් බරක් නොගෙන, තණ්හාව සහමුලින් ම උදුරා දමා සදහටම පිරිනිවන් යා යුතුය."
සංයුක්ත නිකායේ ඛන්ධ සංයුක්තයෙනි.
No comments:
Post a Comment